මේ සිකුරාදා උදෑසන
සයුරට සවන් නොදෙන කෙනෙක් වේ නම්,ගෙයක, කන්තෝරුවක, කම්හලක, ගැහැණියක
නැතිනම් වීදියක, පතලක, රුදුරු සිර කුටියක
ගුලි වී සිටී නම් යමෙකු
ඔහු වෙත පැමිණෙන්නෙමි
නොබලා, නොකියා කිසිවක්
විවර කරන්නෙමි දොර,
දෙදරුමක් ඇරඹෙනු ඇත එවිට
නොපැහැදිලි නමුත් නොනවතින,
දැවැන්ත වූ ඛණ්ඩයකින් හෙණයක
ග්‍රහලෝකයද පෙණකැටිද
සයුරේ ගොහොර ගංගා ද
අවදි වේ එවිට,
හිරු ද හනිකට කැළඹේ
එහි උප ඡායාව තුල,
මුහුදු තෙර හඬ නගයි, මියයයි,පවතියි.
ඉතින්, දෛවයේ කැඳවීමෙන්
මුහුදේ අන්දොනාවට සවන් දිය යුතුය
ඒ අවබෝධය තුලම රඳවා ගත යුතුය,
ඝන රළ බිඳුම විඳිමින්ම
නොබිඳෙන කෝවකට වත්කල යුතුයි,
එවිට, ඒ සිරකුටි කොතැනක තිබුනද
කොහේ සිට හෝ ග්‍රීෂ්මයේ අවලාද විඳින්නට සිදු වුවද,
මා පැමිණෙනු ඇත
මුරණ්ඩු රළ පහරක් සමගින්,
සරනු ඇත, කවුළු තුලින්,
මා වෙත යොමු වූ නේක නෙත්
අසනු ඇත: 'සයුර වෙත යන්නේ කෙසේද?'
එවිට කිසිවක් නොදොඩා ප්‍රසිද්ධ කරමි
දිය පහරේ තාරකා දෝංකාරය,
පෙණපිඬුවල මරවැල්ලෙහි බිඳුම,
හැකිළෙන ලවණයේ කුසුකුසුව,
වෙරළ තීරයේ මුහුදු විහඟුන්ගේ අළු පැහැති නද.
ඉතින්, මා තුලින්, නිදහසද සයුරද
සිරකොට ඇති හදවතට
සපයනු ඇත පිළිතුරු
*Pablo Neruda's 'The Poet's Obligation'