Banner

Banner

Saturday, 24 January 2015

දසේ*

දරාගත නොහැකි දේ පෙරා ඉවතලා
ඉවසිය හැකි දුක් පමණක් ඉතිරි කොට
ප්‍රමාණය ගුණය අනුව
ඒ ඒ රාක්කවල අහුරා
කඳුල සුසුම සදහටම පිටමං කොට
කාල-මකනය ට අකුරටම
ඉටු කරන්නට සිය වගකීම
දස වසක් මදි වුනා දසේ...

බොලීවියා වේ උසම උස කඳු මුදුන් වලින්
අත් තටු කියත්
කපමින් අහඹු ගිම්හානයක
අහඹු රාත්‍රියක්
මා වෙත පැමිණියේ
බිඳුණු පතක් සේ
දේදුන්නක පෙඟවුනු
ඒ උඹ මයි දසේ...

ඉතිහාසයේ සදාතනික පැන
දබරැඟිලි දිගු කරමින්
වද දුන්නා  මට දසේ...


මතකයෙන් තෙත බරිත ව
ප්‍රශ්න කිරීමට සිදු වුන මට
පිළිතුරු නොදී නික්ම ගිය උඹෙන්:

කියපන් දැන්!
විස්තර කරපන්
ඒ වේදනාබර මොහොත!

ඉටු නොවු
දුප්පත්ම දුප්පත්
පැතුමක් දෙකක්
සිහි වුනේද,
මතක් වූවාද
හදිස්සියේ තෝරපු
දුප්පත් සටන් පාඨ උඹට?

පැහැර ගත් විට දැනුනිද
පහර දෙන විට රිදුනිද?
විය යුතු මුත් නොවුණු සිහින
මැකුවා ද ඒ රිදුම්?

කැපුම් සීරීම්
කැඩුම් බිඳුම්
එතූ සුළං වෙළුම්
පැමිණුනේ කැටුවද
කිරි සුවඳ?


වධකයා ගේ සතුට සොරකම් කල
ඒ කාලකණ්නි මොහොත
ඉතින් විස්තර කරපන්.


වා තලයට දන් දුන්
ඒ අවසන් හුස්ම පොද
කොහේ කොතැනක
ලැගුම් ගත්තේද?
අත් පා අතු බවට පෙරළා
පොතු සදා උඹේ හමෙන්
සැදු ගසේ කොල අතරේ
හැංගුනාද එය?
අවසන් ගමන් ගියේද එය
උඹේ ලස්සනම ලස්සන දෑසින්
අනන්තයට ගලා ගිය
උඹටම උරුම වූ
දුක්මුසු බැල්ම දිගේ
අවසන් උත්තමාචාරයක් ලෙස
අධිශ්ටානය ට හෝ අවනත වීම ට?
 
මතකයන් සහ  පැරණි කතා අතරින්
උඹ එන්නේ කොටස් වශයෙන්  
දුර ඈතක සිට යි දසේ
දිග හැරෙන වෙළුම් පටයක් දිගේ
කඳුළු බින්දුවක සැඟවී...
ඉතින් කියපන් තව කිසිත්
කියන්නට නැති තෙක්
කියපන් දසේ
කියපන් මට
නැවත වැළඳ ගත නොහැකි නිසා
උඹව.

*දසනායක අසූව දශකයේ පේරාදෙණි සරසවියේ ශාස්ත්‍ර පීඨ යේ ශිෂ්‍ය නායකයෙක්.  1988-89 භීෂණ සමයේ නුවර අවට අත්අඩංගුවට ගෙන, වද හිංසා පමුණුවා, හතරට කපා දමා ඔහුගේ අත් පා ගසක තැනින් තැන එල්ලා තිබුන බව වාර්තා විය.

No comments :

Post a Comment