Banner

Banner

Friday 19 June 2015

සයිමන් නවගත්තේගම මතක් වී...

ජීවිතය දුම් කැරැල්ලකි
උමතුවකි
කළු සුදු සහ සෙවනැලි
එහා මෙහා වන
එහෙට මෙහෙට පෙරලන
නේද සයිමන්?

ඉතින් දැන්
නුඹ සරන
පශ්චාත් මරණ අරණේ
ශුන්‍යවාදියාට හමුවේද
ප්‍රේමවන්තයා සහ ප්‍රේමය?

මතක බර වීසි කරන්නේද යස
පෙරලා ඔහු වෙත
වීසිකරන්නේ ද
සුභ එය
නොනවතින සිනාවෙන්
ඔප නංවා සිහසුන?

මුල්ලේගම ගල්කන්දේ පරාභවය
මරණයේ මෙහා පැත්ත
තරම්ම නිහඬද?

එයද සභ්‍යත්වයෙන් වැසී යන්නේද
සභ්‍යත්වයෙන්ම නැවත අනාවරණය වී
සදාතනික සත්‍යයන්ගෙන්
නැවත නැවතත් වැසී යන්නේද?

සමාව දුන්නේද දඩයක්කාරයා
සතා සිවුපාවුන්ට
වෙහෙසුවාට සිත?

හදවත අදත්
වැළඳ ගන්නේද
ආදරයේ හුස්ම හිරවීම?

මීට සතවර්ෂ ගණනකට පෙර
මේ පොළොවේ දිග හැරුණු
ඔබගේ ජීවිතයටත් ආදරයටත් වඩා
සැහැල්ලුද සයිමන්
ගොල්ෆ් තොප්පිය?

3 comments :

  1. හුස්ම හිරවෙන තරමට ලස්සනයි.

    ReplyDelete
  2. This comment has been removed by the author.

    ReplyDelete
  3. සාහිත්‍යයේ නම ගිය
    තුමන්ලා බදාගත් අයිතිය
    තුමෙකු නොවූ සයිමන්ය
    අපි හොයාගෙන කියෙව්වේ සයිමගේ පොත්ය

    සාහිත්‍ය බිම බෙදා වෙන් කළ
    තමන්ගේ සින්නක්කරකම එබ්බුව
    මහා ගත් කතුන්ට වඩා
    අනේ සයිමන් අපි ඔබට ආදරේය

    කාටත් වඩා ඔබේ දුම් වළල්ලේ ආශ්වාදයෙන්
    මතුවූ වචන උගුල් කැමැත්තෙන් වැටෙන බොරු වළවල්
    අපේ හිත් දඩයම් කරගෙන ගියෝය
    දඩයක්කාරයා හිටියානම් !

    ReplyDelete